Sinhala iMagazine
Our main aim was to provide you with the latets News and Events in Sri Lanka.
Also we provide you Content which have both an educational value as well as entertainment in Sinhala language.
මුල් පිටුව > ව්‍යාපාරික
2009 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය ගමන්මග සහ ඉදිරි ගමන
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම වසරකම නොවැම්බර් මාසයේදී "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" මැයෙන් වූ වාර්තාවක් නිකුත් කරනු ලබයි. එම වාර්තාවට අදාළ වර්ෂයේ එතෙක් ආර්ථික ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු හා සුවිශේෂ සිදුවීම් රැසක් අන්තර්ගත වෙයි. එසේම ඉදිරි වර්ෂයේ ආර්ථික අපේක්‍ෂාවන් ද එයට ඇතුළත් ය. මේ වර්ෂයට (2009) අදාළ එම වාර්තාව දැන් නිකුත්ව තිබේ. මේ වසර වූ කලී වසර 30 ක් තිස්‌සේ පැවැති ප්‍රභාකරන්ගේ අඳුරු ත්‍රස්‌තවාදී ශාපයෙන් රට මුදාගත් වසරයි. එසේම මේ වසර ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම්වලට අපට දැඩිව මුහුණදීමට සිදු වූ වසරකි. මේ පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" නම් වූ නවතම වාර්තාවේ සඳහන් වන පරිදි මේ වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ඉදිරි ආර්ථික අපේක්‍ෂාවන් පිළිබඳව අපි සලකා බලමු.
මුලින්ම ජාතික නිෂ්පාදිතය පිළිබඳ ප්‍රවණතාවන්ට අපි අවධානය යොමු කරමු. ඒ අනුව පසුගිය වසරේ (2008) පළමු මාස හයේදී වාර්තා වූ සියයට 6.6 ක ආර්ථික වර්ධනයට සාපේක්‍ෂව මේ වසරේ පළමු මාස හයේදී වාර්තා වී ඇත්තේ සියයට 1.8 ක් තරම් අඩු වර්ධන වේගයකි. කාර්මික හා සේවා අංශවල වර්ධනය ද සැලකිය යුතු පරිදි පහත වැටී ඇත. අදාළ කාලයේදී කාර්මික අංශයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා වූ සියයට 6.5 ක අගයේ සිට මේ වසරේදී සියයට 2.4 ක් දක්‌වා පහත වැටී තිබේ. සේවා අංශයේ වර්ධනය ද සියයට 6.7 සිට සියයට 1.1 ක් දක්‌වා විශාල වශයෙන් අඩුවිය. කවරක් නමුත් දේශීය කෘෂි නිෂ්පාදනය වැඩිවීම නිසා කෘෂිකාර්මික අංශය පළමු මාස හයේදී සියයට 3.7 කින් වර්ධනය වූ බව ද සඳහන් කළ යුතුය.
මෙලෙස අපගේ ආර්ථික කටයුතු මන්දගාමී වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ සාධකය ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම්ය. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝකයේ බොහෝ රටවල වාර්තා වන්නේ සෘණාත්මක ආර්ථික වර්ධනයන් ය. මේ තත්ත්වය තුළ අපට අපගේ වර්ධනය ධන අගයක රඳවා ගැනීමට හැකිව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙය දිරිගන්වන සුළු තත්ත්වයක් බවයි.
ලෝක ආර්ථික අර්බුදය ක්‍රමයෙන් සමනය වීමත් සමඟ ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ නිසා ලෝක ආර්ථික අර්බුදය නිසා අපේ දේශීය ආර්ථික කටයුතුවලට ඇති වු අහිතකර බලපෑම් ද පහව ගොස් ඇත. එසේම යුද්ධය අවසන් වීම නිසා උතුරු සහ නැගෙනහිර පළාත් රටේ අනෙකුත් පළාත් සමඟ ඒකාබද්ධ වීමෙන් දේශීය ආර්ථික කටයුතු වර්ධනය වීම නිසා වසරේ දෙවන මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය වඩා වේගයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ නිසා වසරේ මුල් මාස හයේදී සියයට 1.8 කට සීමා වූ ආර්ථික වර්ධනය සමස්‌ත 2009 වර්ෂයේදී සියයට 3.5 කට පමණ ඉහළ නංවා ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇස්‌තමේන්තු කර ඇත. කෙසේ නමුත් 2008 වසරේදී වාර්තා වූ සියයට 6 ක ආර්ථික වර්ධනයට සාපේක්‍ෂව සියයට 3.5 ක වර්ධනයක් යනු ආර්ථික වර්ධන ගාමකත්වය සැලකිය යුතු පරිදි අඩුවීමකි. මේ අතරම 2010 ආර්ථික අපේක්‍ෂාවන් පිළිබඳව මහබැංකුව නිකුත් කළ වාර්තාවේ මෙසේ සඳහන් ය.
"ආර්ථිකයේ සියලුම ප්‍රධාන අංශයන්හි ධනාත්මක දායකත්වයකින් යුක්‌තව 2010 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6 කට වඩා වැඩි ප්‍රතිශතයකින් සහ පුළුල් පදනමකින් වර්ධනය වී යථා තත්ත්වයට පත්වනු ඇතැයි පුරෝකථනය කෙරේ."
පසුගිය දිනවල රජය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු අනුපාත අඩුකළ නිසාත්, මේ දිනවල ඉහළ යමින් පවතින මැතිවරණ උණුසුම නිසාත් මෙකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු අඩුකිරීමේ රජයේ තීරණය පිළිබඳව කාගේත් වැඩි අවධානයක් යොමුව තිබේ. ඇතැම් අය කියන්නේ මෙය ඡන්ද ගුණ්‌ඩුවක් බවයි. කෙසේ වුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ මට්‌ටමක පැවැති නිසා එම බදු අනුපාත අඩුකර ජනතාවට සහන සැලසීමට ගත් පියවර ගැන ජනතාව තුළ ඇත්තේ ප්‍රසාදයකි. එහෙත් මේ බදු අඩුවීමේ සහනය අවසන් පාරිභෝගිකයා වෙත තවමත් ගලාගෙන ගොස් නැත. ඒ නිසා මහජනතාව චෝදනා කරන්නේ බදු අඩු කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවමත් අඩු වී නැති බවයි. ඇතැම් අය අපට පෙන්වා දෙන්නේ සතොසේ ද බඩු මිල අඩු වී නැති බවයි. ඒ නිසා වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වී මේ බදු අඩුකිරීමේ සහනය ජනතාවට ලබාදීම සඳහා නිසි පියවර ගත යුතු බව අපගේ අදහසයි.
මේ වසරේ පළමු මාස නවය තුළදී උද්ධමනය අඛණ්‌ඩව අඩු විය. වාර්ෂික ලCෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය සැප්තැම්බර් මස අගදී වසර පහක් තුළ වාර්තා වූ අවම අගය වූ සියයට 0.7 ක් දක්‌වා අඩු විය. මේ අතර ඔක්‌තෝබර් මස අගදී උද්ධමනය සියයට 1.4 ක් දක්‌වා ඉහළ ගියේය. ගිය වසරේ පැවැති ඉහළ උද්ධමනයේ මූලික බලපෑම පහව යැම සහ දේශීය සහ විදේශීය ඉල්ලුමේ අපේක්‍ෂිත ක්‍රමික වැඩිවීම නිසා ඉදිරි කාලයේදී යළිත් උද්ධමනය ඉහළ යැමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ අනුව මේ වසර අවසන් වන විට දැනට පවතින සියයට 1.4 ක වාර්ෂික ලCෂ්‍යමය උද්ධමනය සියයට 5 ක් දක්‌වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
මේ වර්ෂය තුළ මෙලෙස උද්ධමනය අඩු මට්‌ටමක තිබුණත් 2010 වසරේ උද්ධමනය ඉහළ යැමේ අවධානමක් ඇත. ලෝක ආර්ථිකය අවපාතයෙන් මිදීමත් සමඟ ආහාර ද්‍රව්‍ය සඳහා අධි ඉල්ලුමක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන නිසා ලබන වසරේදී ලෝක වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පවතින මිල ගණන් ඉහළ යනු ඇත. මේ නිසා අපට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදීS දැරීමට සිදුවන වියදම් ද ඉහළ යයි. මේ තත්ත්වය මෙම භාණ්‌ඩවල දේශීය මිල ගණන් ඉහළ යැමට හේතුවනු ඇත. මේ අතරම ලබන වසරේදී ලෝක ඛනිජ තෙල් මිල ගණන් ද තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එවිට දේශීය ඛණිජ තෙල් මිල ගණන් ද සංශෝධනය වීමෙන් ප්‍රවාහන ගාස්‌තු ඉහළ ගොස් සමස්‌ත බඩු මිල ඉහළ යැම වැළැක්‌විය නොහැකිය. මෙකී උද්ධමනය ඉහළ යැමේ අවදානම පිළිබඳව මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.
"ගෝලීය අවපාතයෙන් අත්මිදීමත් සමඟ ආහාර සඳහා අධි ඉල්ලුමක් ඇතිවීම හේතුවෙන් ලෝක ආහාර මිල ගණන්හි ඉහළ යැම සහ ජාත්‍යන්තර තෙල් මිල ගණන් ඉහළ නැගීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ දේශීය මිල මත බාහිර පීඩනයක් නිර්මාණය කරනු ඇත. සමස්‌ත ඉල්ලුම සහ උද්ධමන අපේක්‍ෂාවන් ඥාණාන්විතව කළමනාකරණය නොකළහොත් උද්ධමනය නැවතත් ගොඩනැගෙනු ඇත."
මීළඟට රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව අපි අවධානය යොමු කරමු. මේ වසරේ රාජ්‍ය මූල්‍ය කටයුතුවලදී අභියෝග රැසකට මුහුණ දීමට රජයට සිදුව තිබේ. වසර මුලදී යුද කටයුතුවලට අධික වියදම් දැරීමට සිදුවීම, උතුරේ අවතැන් වූවන් වෙනුවෙන් වියදම් දැරීමට සිදුවීම, අවතැන්වූවන් නැගෙනහිර පළාත තුළ නැවත පදිංචි කිරීම, උතුර සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිසංස්‌කරණ හා පුනරුත්ථාපන කටයුතු අඛණ්‌ඩව සිදු කරගෙන යැම සහ 2009 මුල් මාස හය තුළ රජයේ දේශීය ණය ගැනීම් සඳහා ඉහළ පොලී අනුපාතික ගෙවීමට සිදුවීම යනාදී කරුණු නිසා අපේක්‍ෂා කළාට වැඩි රාජ්‍ය වියදමක් දැරීමට රජයට සිදුවිය. අනෙක් අතට ඉලක්‌ක කළ රාජ්‍ය ආදායම් විශාල වශයෙන් පහත වැටීම නිසා අය වැය හිඟය මත විශාල පීඩනයක් ද එල්ල වී තිබේ.
රාජ්‍ය ආදායම් අඩුවීම ගැන සාකච්ඡා කරන්නේ නම් 2009 වසර සඳහා රජය අනුමත කළ මුල් රාජ්‍ය ආදායම් ඇස්‌තමේන්තු වූයේ රුපියල් බිලියන 855 කි. නව සංශෝධිත ඇස්‌තමේන්තුවලින් මෙය රුපියල් බිලියන 727.7 ක් දක්‌වා රුපියල් බිලියන 127.3 කින් (රුපියල් කෝටි 12730 කින්) පහත වැටෙනු ඇතැයි රජය පවසයි. මෙය අප කියන කතාවක් නොව රජයම කියන කතාවකි. මුළු රාජ්‍ය ආදායම නියෝජනය කරන බදු ආදායම රුපියල් බිලියන 121.3 කින් (රුපියල් කෝටි 12130 කින්) සහ බදු නොවන ආදායම රුපියල් බිලියන 6 කින් (රුපියක් කෝටි 600 කින්) ද පහත වැටෙන බව රජයේ සංශෝධිත අය වැය ඇස්‌තමේන්තු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ 2009 වසරේ රාජ්‍ය ආදායම සංශෝධිත ඉලක්‌කවලටත් වඩා පහළ අගයක් ගනු ඇති බවයි. ඒ නිසාම මහ බැංකුව පෙන්වා දෙන්නේ සමස්‌ත අය වැය හිඟය ද සංශෝධිත ඉලක්‌ක තුළ පවත්වා ගෙන යැම අභියෝගාත්මක කාර්යයක් වනු ඇති බවයි.
2009 සංශෝධිත අය වැය ඇස්‌තමේන්තුවලට අනුව සමස්‌ත අය වැය හිඟය රුපියල් බිලියන 346.4 ක් වනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 7 ක ප්‍රතිශතයකි. පවතින රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් හමුවේ මෙම සියයට 7 ක අය වැය හිඟයේ ඉලක්‌කය ලබාගත හැකි ද යන්න ප්‍රශ්නයකි. අනෙක් අතට රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත අය කළ බදු අනුපාත අඩු කළ නිසා ද රජයට මසකට රුපියල් දශලක්‍ෂ අටසියයකින් පමණ බදු ආදායම අඩු වනු ඇත. දිනෙන් දින ඉහළ යමින් තිබෙන මැතිවරණ උණුසුම හමුවේ රජය, ජනතාවට සහන ලබාදීමට ද ඉදිරිපත්ව ඇත. උපාධිධාරීන් 17000 කට අලුතින් රැකියා ලබාදීම, රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරීම යනාදිය ද මේ අතර වෙයි. මේ සියලු දේ නිසා රාජ්‍ය වියදම් තව තවත් ඉහළ යනු ඇත.
රජය ලබාදෙන සහන ගැන ද යමක් කිව යුතුය. අත්‍යවශ්‍ය භාණ්‌ඩවලට රජය අය කරන බදු අඩුකිරීමෙන් රාජ්‍ය ආදායමේ අඩුවීමක් සිදු වුවද, ඒ නිසා උස්, පහත් භේදයකින් තොරව සමස්‌ත සමාජයම ප්‍රතිලාභ ලබයි. එහෙත් මැතිවරණයක් අබියස ජනසභා ලේකම් වැනි නව තනතුරු පවා නිර්මාණය කරමින් රාජ්‍ය සේවයට අලුත් උපාධිධාරීන් බඳවා ගැනීමෙන් රාජ්‍ය වියදම් තව තවත් ඉහළ ගොස් සමස්‌ත ජනයාගේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වන්නට පුළුවන. මැතිවරණය හමුවේ රැකියා විරහිත උපාධිධාරීන් සනසන්නට ගොස්, රාජ්‍ය අංශයේ සේවකයන් සනසන්නට ගොස්, රජය කරන්නේ එකී සහනවල බර මේ රටේ සමස්‌ත බදු ගෙවන ජනතාව පිට පැටවීමයි. මේවායින් සමස්‌ත ජනතාවට සැලසෙන සෙත කුමක්‌ද? ඇතැමුන් නම් කියන්නේ මේ සහන ලබා දෙන්නේ රජය විසින් නොව ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් බවයි. සරත් ෆොන්සේකා භිතිකාව නිසා හෝ මැතිවරණයක් අබියස සිටීම නිසා හෝ රජය ලබා දෙන මේ සහනවල බර දරන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂවත්, රජයේ මැති ඇමැතිවරුන්වත් නොව මේ රටේ සමස්‌ත බදු ගෙවන ජනතාවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත


